Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
මානවයා - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය

by Dhanika Perera


ගල්ලෑල්ල සහ හුණුකූර යනු අතීතයේ දී මිනිසා ඔහුගේ දැනුම බෙදා හදා ගැනීමට  භාවිතා කළ ප්‍රාථමික මෙවලමකි. කාලයාගේ ඇවෑමෙන් මෙම ගල්ලෑල්ල සහ හුණුකූර පොතට සහ පෑනට පැන්සලට පරිවර්තනය වූ අතර වර්තමාන දියුණු තාක්‍ෂණික ලෝකය තුල එම පොත සහ පෑන පැන්සල තවදුරටත් පරිගණක තිරයට සහ යතුරුපුවරුවට මූසිකයට පරිවර්තනය වී ඇත. මෙම පරිවර්තනය වීම මිනිසාගේ දැනුම කළමනාකරණයෙ හි ලා තැබූ යෝධ පියවරක් ලෙස සැලකිය හැක.

ලොව වටා ඇති දැනුම පිළිබඳ ව කතා බහ කළ විට, මේ වන විට එම දැනුමෙන් අති බහුතරය පරිගණකගත වී ඇති බව අවිවාදයෙන් පිළිගැනීමට සිදු වේ. දැනුම පරිගණකගත වීම මෙතරම් වැදගත් වනුයේ පරිගණකය භාවිතයෙන්  අති විශාල දැනුම් ප්‍රභවයක ඇති දැනුම් සම්භාරයෙන්, අපට අවශ්‍ය යම් නිශ්චිත දැනුමක් ඉතා පහසුවෙන් සොයා එසැ‍ණින් පරිශීලනය කළ හැකි වීමත්, එම දැනුම අන්තර්ජාලය සහ පරිගණක වැඩසටහන් හරහා ලොව වටා සිටින සුවහසක් ජනතාවගේ ප්‍රයෝජනය  තකා මුදා හැරිය හැකි වීමත් නිසා ය.

නමුත්, ලොව වටා ඇති දැනුමෙන් අති බහුතරය පරිගණකගත වුව ද, එම දැනුම අන්තර්ජාලය හා පරිගණක වැඩසටහන් ඇසුරින් ලොව වටා මුදා හැරුණ ද, එම දැනුමෙන් ලොව වටා සිටින සියලු ම ජනතාවට ප්‍රයෝජන ගැනීමේ හැකියාවක් තවමත් උදා වී නොමැත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ භාෂාමය ගැට‍ළුවයි. ශ්‍රී ලාංකික සිංහල ජනතාව ලෙස අප කුඩා කළ සිට ම අධ්‍යාපනය ලබන්නේ අපේ මව් බස වන සිංහල භාෂාවෙනි. පාසල් අධ්‍යාපනය සැලකුව ද සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා ම බහුතර සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අධ්‍යාපන කටයුතු හදාරන්නේ සිංහල භාෂාවෙනි. නමුත් ඔවුන්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කර ගැනීම සඳහා ඔවුන් පරිගණකයේ පිහිට පැතූ විට  ඔවුන්ට එම දැනුම සිංහල භාෂාවෙන් ලබා ගැනීමේ හැකියාවක් තවමත් උදා වී නොමැත. සිංහල භාෂාවෙන් දැනුම සපයන පරිගණක වැඩසටහන් තවමත් නිර්මාණය වී ඇත්තේ අතලොස්සක් වීම ඊට හේතුවයි. ‘මානවයා’ සිංහල පරිගණක වැඩසටහන නිර්මාණය වන්නේ අන්න එම ගැට‍ළුවට පිළියම් සෙවීමක් වශයෙනි.

‘මානවයා’ පරිගණක වැඩසටහන සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂයක් ලෙස සරලව ම හැඳින්විය හැකි ය. මානව ශරීරයේ අවයව සහ පද්ධතීන් පිළිබඳ ව පැහැදිලි උසස් මට්ටමේ දැනුමක් සපයන මෙම පරිගණක වැඩසටහන පිළිබඳ කෙටි සටහනක් පහත දැක්වේ. 

  • අන්තර්ගතය: මානව ශරීරයේ පද්ධතීන් 8 ක් සහ අවයව 44 ක් පිළිබඳ ව සියලු කරුණු සහ අවයව හා පද්ධතීන් වල සිංහලෙන් නාමකරණය කරන ලද ත්‍රිමාණ වර්ණ රූප සටහන් 50 කට වැඩි ප්‍රමාණයක් ද සමගින් සිංහලෙන් කරුණු අන්තර්ගත වේ.
  • අතුරුමුහුණත්: වැඩසටහන මෙහෙයවීම භාවිතයට පහසු ආකාරයෙන් සරල සිංහලෙන් තනා ඇත. 100% ක් සිංහල මෘදුකාංගයකි. සිංහල ෆොන්ට හෝ යුනිකෝඩ් ස්ථාපනය කර තිබීම අවශ්‍ය නැත.
  • විෂය කරුණු: සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ට අදාළ ජීව විද්‍යාත්මක කරුණු මෙන් ම වයස් භේදයකින් තොර ව ඕනෑම කෙනෙකුට කියවා බලා තේරුම් ගත හැකි ලෙස, කරුණු වශයෙන් (point form) සරලව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහා නිර්දේශිතයි.
  • සම්මාන: 2007 වර්ෂයේ දී මෘදුකාංග කර්මාන්ත සඳහා වන ශ්‍රි ලංකා සංගමය මගින් සංවිධානය කල යොවුන් පරිගණක විද්‍යාඥ තරගාවලියේ දී යොවුන් පරිගණක විද්‍යාඥයා 2007 සඳහා වන රිදී සම්මානය මෙම ‘මානවයා 1.01 නිර්මාණය වෙනුවෙන් හිමිවුනි.

 

මෙම පරිගණක වැඩසටහනේ නියැදි තිර දර්ශනයක් පහතින් දැක බලා ගත හැක.

 

‘මානවයා’ නිර්මාණය කිරීමේ ලා මා හට සහයෝගය ලබා දුන් හිතමිතුරන්ට සහ මා හදා වඩා මාගේ නැණස පෑදූ මාගේ ගුරු දෙ ගුරුන්ට මාගේ හද පිරි ස්තුතිය පුද කරනු කැමැත්තෙමි. මෙය ශ්‍රී ලංකා පාසල් ජාලය හරහා ශ්‍රී ලංකාවේ සතර දිග් බාගයේ ඇති පාසල් වල සිසු සිසුවියන් හට භාගත කර ගැනීමේ පහසුව සලසා දුන් ශ්‍රී ලංකා පාසල් ජාලයෙහි ප්‍රධානී මහාචාර්ය අජිත් පැස්කුවල් මහතාට ද මාගේ ස්තුතිය පිරිනැමේ.

නො බෝ දිනකින් ම මෙම සිංහල පරිගණක වැඩසටහන සඳහා මානවයා.com (www.manavaya.com) නමින් සිංහල යුනිකේත වෙබ් අඩවියක් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර එවිට අන්තර්ජාලය හරහා ද මෙහි අන්තර්ගත සිංහල දැනුම සියලු ශ්‍රී ලාංකිකයින් හට බෙදා දීමට හැකි වනු ඇත. එම වෙබ් අඩවිය නිර්මාණය සඳහා දායක වන ශිරාන් සංජීව මහතාට ද මාගේ ස්තුතිය පිරි නැමේ.

ලොව වටා ඇති දැනුම මෙලෙස කෙමෙන් කෙමෙන් සිංහලෙන් පරිගණකගත වූ විට, කෙදිනක හෝ දිනක අපට අවැසි ඕනෑම දැනුමක් පරිගණකාශ්‍රයෙන් සිංහලෙන් ලබාගැනීමේ පහසුකම අපට නිතැතින් ම හිමි වනු ඇත. එවිට ඒ සඳහා මෙම සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂයෙන් ද සුළු හෝ දායකත්වයක් සැපයෙනු ඇත.

Share/Save
No votes yet

මගේ සුබ පැතුම්..

ගොඩක් සතුටුයි මගේ යාලුවෙක් මේ වගේ නිර්මාණයක් කරපු එක ගැන.. ඔන්න ධනික ම‍ගෙනුත් සුබ පැතුම්...

Manavaya

Great Work!

Congrats!

-Lahiru.

Post new comment

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options